චීනයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටි ජනගහනය, වයස අවුරුදු 14 සහ ඊට අඩු ළමා ජනගහනය අභිබවා ගොස් තිබෙනවා.
චීනයේ ජාතික සංඛ්යාලේඛන කාර්යාංශයේ දත්ත උපුටා දක්වමින් එරට රාජ්ය අනුබද්ධ මාධ්ය වාර්තා කර ඇත්තේ, 2025 වසරේ වැඩිහිටි යැපුම් අනුපාතය සියයට 23.1ක් ලෙස වාර්තා වී ඇති බවයි.
ළමා යැපුම් අනුපාතය එම වසරේ සියයට 22ක් ලෙස සටහන් වී තිබෙනවා.
2016 වසරේ සියයට 15ක්ව පැවති වැඩිහිටි යැපුම් අනුපාතය, 2021 වසර වන විට සියයට 20 ඉක්මවා ගොස් ඇති අතර, එය වසරින් වසර ඉහළ ගොස් ඇති බව ද වාර්තාවල සඳහන්.
දත්තවලට අනුව, චීනයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන් මිලියන 223කට අධික සංඛ්යාවක් සිටින අතර, වයස අවුරුදු 14 සහ ඊට අඩු ළමුන් සංඛ්යාව මිලියන 213ක් පමණ වනවා.
මේ අතර, 2025 වසරේදී චීනයේ ජනගහනය අඛණ්ඩව සිව්වැනි වසරටත් පහත වැටී ඇති අතර, උපත් අනුපාතය ද වාර්තාගත අවම මට්ටමකට පැමිණ තිබෙනවා.
1980 සිට 2015 දක්වා ක්රියාත්මක වූ එක් දරු ප්රතිපත්තිය සහ වේගවත් නාගරීකරණය, චීනයේ උපත් අනුපාතය දිගුකාලීනව පහත වැටීමට බලපා ඇති කරුණු ලෙස සැලකෙනවා.
මෙම තත්ත්වයට ප්රතිචාර වශයෙන්, විවාහ සහ දරු උපත් දිරිගැන්වීම සඳහා පවුල් සහනාධාර ලබාදීම, ළමා රැකවරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දරු උපත් සම්බන්ධ වෛද්ය වියදම් අඩු කිරීම ඇතුළු පියවර රැසක් චීන බලධාරීන් හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම, තරුණයන්ට සහ පවුල්වලට වඩාත් හිතකර නාගරික පරිසරයක් ගොඩනැගීමට ද බලධාරීන් ප්රතිඥා දී තිබෙනවා.
