තායිවානයට වැසුණු පාකිස්තාන ගුවන් අවකාශය යළි විවෘත කෙරේ

තායිවාන ගුවන් සමාගම් දෙකකට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට ලබාදී තිබූ තහනම ඉවත් කරමින්, පාකිස්තානය එම සමාගම්වලට යළි අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව, චයිනා එයාර්ලයින්ස් සහ ඊවා එයාර් ගුවන් සමාගම්වලට ඔක්තෝබර් 28 වැනිදා සිට ලබන වසරේ මාර්තු 27 වැනිදා දක්වා පාකිස්තාන ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට අවසර හිමිව ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරනවා.

චීනයේ ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට සහාය දක්වමින් තායිවාන ගුවන් සමාගම්වලට ගුවන් අවකාශය භාවිත කිරීම තහනම් කිරීමට ගත් තීරණය පාකිස්තානය මෙලෙස හදිසියේ වෙනස් කර තිබෙනවා.

මෙම සීමාව හේතුවෙන් ඔක්තෝබර් 25 වැනිදා සිට අදාළ ගුවන් සමාගම් පාකිස්තාන ගුවන් අවකාශය භාවිත කර නොමැති අතර, ආසියාව සහ යුරෝපය අතර ගමන් කළ ගුවන් යානා කිහිපයක් රුසියානු ගුවන් අවකාශය හරහා ගමන් කර තිබේ. එමඟින් ගමන් කාලය සහ ඉන්ධන වියදම් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

පාකිස්තානයේ මෙම පියවර තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස විවේචනය කර තිබිණි. මහජන චීන සමූහාණ්ඩුවට තායිවානය කිසිවිටෙකත් යටත් වී නොමැති බව පවසමින්, ගුවන් අවකාශයට ප්‍රවේශය දේශපාලන පීඩන මෙවලමක් ලෙස භාවිත කිරීම එම අමාත්‍යාංශය හෙළා දැක තිබෙනවා.

චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන අතර, තායිවානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ජාත්‍යන්තර තලයේ තායිවානය හුදකලා කිරීමට බීජිං පාලනය උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය සහ පාකිස්තානය අතර සමීප ආර්ථික හා ආරක්ෂක සබඳතා පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වේ. කෙසේ වෙතත්, තායිවාන ගුවන් සමාගම්වලට යළි අවසර ලබාදීමට හේතුවක් පාකිස්තානය නිල වශයෙන් පැහැදිලි කර නැහැ.