කාන්තාවක් තැබූ කෝටියක පොල්ලක් ගැන කොළඹ පුද්ගලික රෝහලකින් නඩු

සිය මවට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ගෙවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවා වංචා කරන ලදැයි කියන දුවක ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (29) නියම කළා.

සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාරිය රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළා.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නාවල ප්‍රදේශයේ පදිංචිකරිනියක්.

2026 අගෝස්තු 27 වැනිදාත් ඔක්තෝම්බර් 11 වැනිදාත් අතර කාලයේ කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 114 දරණ ස්ථානයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ලබා ගන්නා ලද වෛද්‍ය සහ රෝහල් සේවා සඳහා ගෙවිය යුතු රපියල් 2.246.313/-ක ⁣( දෙකෝටි විසිහතර ලක්ෂ හයදහස් තුන්සිය දහතුනක) සමස්ථ මුදලින් රුපියල් 1.066.313/-ක (එක් කෝටි හය ලක්ෂ හයදහස් තුන්සිය දහතුනක) මුදලක් ගෙවීම පැහැර හැර වංචනික ලෙස අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවා.

බිල්පත් මුදලින් විත්තිකාරිය රුපියල් 1.180.000/- (එක් කෝටි දහඅට ලක්ෂයක) මුදලක් ගෙවා ඇති බවත් ඇයට රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් වට්ටම් වශයෙන් දී ඇති බවත් චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසියකට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියා.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජික් හීල්ලගේ කරුණු දක්වමින් පෞද්ගලික පැමිණීල්ලකදී සම්පුර්ණ කළ යුතු කරුණු තම සේවාදායිකාවට එරෙහිව පවරා ඇති මෙම නඩුවේදී සම්පුර්ණ කර නොමැති නඩුව ඉදිරිපත් කර ඇති හෙයින් මුලික විරෝධතාවයක් මතු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කියා සිටිය.

පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කරන බව කියන මුලික විරෝධතාවයට පිළිතුරු දීමට තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළා

කරුණු සළකා බැලීමෙන් අනතුරුව මුලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශවයට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව දෙසැම්බර් 17 වැනිදා යළි කැඳවීමටද නියම කළා.

මෙම නඩුවට පාදක වු රාජගිරිය නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්‍රා දින දෙකකට පෙර කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබු අතර තම මවගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම සඳහා තමන්ට බාරනොදී අදාළ පෞද්ගලික රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණීය විසින් මරදාන පොලිසියට කළ පැමිණීල්ලට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වහාම ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා දේහය දියණීයට බාරදෙන ලෙස මීට පෙර අවස්ථාවක මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රේමලාල් අතුකෝරල මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කෙරුණා.

දින දෙකකට පෙර කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගිය බව කියන තම මවගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම සඳහා තමන්ට බාරනොදී අදාළ පෞද්ගලික රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණීය විසින් මරදාන පොලිසියට කළ පැමිණීල්ලට අනුව කළ විමර්ශනයකින් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළා.

මියගිය කාන්තාවගේ දියණීය මරදාන පොලිසියට කළ පැමිණීල්ල පිළිබඳ අධිකරණයට දැනුම් දුන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්‍රසන්න ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ සළකුනක් තැබූ ස්ථානයක භූමිදානය කිරීමටද නියම කෙරුණා.