ඉන්දියාව සහ මෙක්සිකෝව අතර වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා ඇරඹේ

ඉන්දියාව සහ මෙක්සිකෝව අතර වරණීය වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වන සාකච්ඡා රාමුව සහ ක්‍රියාමාර්ග ඇතුළත් එකඟතා ලේඛනයකට දෙරට අත්සන් තබා ඇති බව ඉන්දීය රජය නිවේදනය කරනවා.

මෙම ගිවිසුම හරහා දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීම, ආයෝජන වැඩි කිරීම සහ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජාත්‍යන්තර සැපයුම් දාම ශක්තිමත් කිරීම ද එහි අරමුණක්.

භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය, භාණ්ඩවල මූලාරම්භය පිළිබඳ නීති, රේගු ක්‍රියාපටිපාටි, වෙළෙඳ පහසුකම් සැලසීම සහ වෙළෙඳ ආරවුල් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෝටර් රථ, රසායනික ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඖෂධ, කෘෂි ආහාර නිෂ්පාදන, බලශක්තිය, තීරණාත්මක ඛනිජ සහ වෛද්‍ය උපකරණ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමට ද දෙරටේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් අතර 2025 වසරේ ජූනි මාසයේදී කැනඩාවේ පැවති ජී-7 සමුළුවට සමගාමීව කළ සාකච්ඡාවේදී, දෙරට අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ වී තිබුණා.

මේ අතර, දෙරටේ ව්‍යාපාරිකයන් අතර සෘජු සාකච්ඡා සහ වාණිජ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින්, 2027 වසරේ පළමු කාර්තුවේදී මෙක්සිකානු ව්‍යාපාරික නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.