දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන්ව හමුවෙන්න සෞදියේ ශ්‍රී ලංකා තානාපති ගිහින්

මේ වනවිට සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා හමුවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහුට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව යළි විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවයි.

මෙම හමුවේ දී අනෝජන්ගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරයා ඔහු සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය සහාය සැලසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අනෝජන්ට අවශ්‍ය නීතිමය සහ කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැපවී සිටින බව ද තානාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, ඉදිරි නඩු කටයුතු සඳහා අනෝජන් සිවරාසා ඔහුගේ නීතිඥවරුන් සහ තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙනයාමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම ක්‍රියාවලියේ දී අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ක්‍රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

මේ අතර තානාපතිවරයා බන්ධනාගාර බලධාරීන් හමුවී අනෝජන්ගේ සුබසාධනය පිළිබඳව දක්වන අඛණ්ඩ සැලකිල්ල සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදෙන සහාය වෙනුවෙන් සිය සිය කෘතඥතාව පළ කර ඇති බව ද වාර්තා වනවා.