හිටපු විශේෂ ව්‍යාපෘති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට විරුද්ධව පවරන ලද දූෂණ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (12) දින නියම කළා.
රජයේ ප්‍රතිපාදන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදාදීමට වෙන් කර තිබූ බඩඉරිඟු බීජ තොගයක් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
අද (12) නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ 02 වැනි සාක්ෂිකරු වන විශේෂ ව්‍යාපෘති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ශාන්ත බණ්ඩාර සාක්ෂි දෙනු ලැබුවා.
වැඩිදුර සාක්ෂි විමසීම සඳහා හා හරස් ප්‍රශ්න මීළඟ නඩු දින විමසීමට නියම වුණා.
2014 ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා වූ කාලය තුළ විශේෂ ව්‍යාපෘති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිය නිලය අවභාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.
රජයේ සේවකයකු වශයෙන් සිය ධුරය අවභාවිත කරමින් තමාට හෝ වෙනත් යම් අයකුට අයුතු ලාභයක් කිරීමේ අදහසින් අන් තැනැත්තන් ඍජුව හෝ වක්‍රාකාරයෙන් පෙලඹවීම ඇතුළු අධිචෝදනා නඩු පැවරීම සිදුව තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් අතරේ බෙදාදීමට වෙන්කර තිබූ බඩඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000ක ප්‍රමාණයක් සිය දේශපාලන හිතවතුන් අතරේ බෙදාහැරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂවරයා පෙළඹවීම මඟින් දූෂණයක් සිදුකර ඇති බවටයි හිටපු ඇමැතිට එරෙහිව චෝදනාකර ඇත්තේ.
රජයට අයුතු සහගත ලෙස පාඩුවක් සිදු කිරීමට හෝ සිය හිතවතුන්ට අයුතු වාසියක් අත්කරදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් සංශෝධිත අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.
විත්තිකාර හිටපු ඇමැතිවරයා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
