“ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් මිලියන 1,200කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසනවා.
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සහ ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 58ක වටිනාකමකින් යුත් නවීන කෘෂිකාර්මික උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් බෝකුන්දර ගොවිජන සේවා පරිශ්‍රයේ පැවති කැස්බෑව ගොවිජන එකමුතුවේ හමුවේදී සිදු කෙරිණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන මත මෙම උපකරණ ලබා දීම සිදු කෙරිණි. ඒ යටතේ කුඹුරු පිරිසිදු කිරීමේ යන්ත්‍ර, ට්‍රැක්ටර්, ට්‍රේලර්, අස්වනු නෙළන යන්ත්‍ර (හාවස්ටර්), වී වියළන යන්ත්‍ර, වී පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ වී කෙටීමේ යන්ත්‍ර ඇතුළු කෘෂිකාර්මික උපකරණ රැසක් ගොවි ජනතාව වෙත ලබා දුන්නා.
මීට අමතරව, අමුණු හා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් ජල සම්පාදන සහ අතිරික්ත ජලය බැස යාමේ පද්ධති වැඩිදියුණු කිරීම මගින් කැස්බෑව ප්‍රදේශයේ පුරන් කුඹුරු යළි අස්වැද්දීම පිළිබඳව ද ගොවි ජනතාව සමඟ සාකච්ඡා කෙරුණා.
එමෙන්ම, ස්වයං රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සහ බිම්මල් වගාව දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5ක මූල්‍ය පහසුකම් සැපයීම ද මෙහිදී සිදු විය.
ග්‍රාමීය ආර්ථිකය සහ ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එම වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රදේශයේ ගොවි ජනතාවට නවීන කෘෂිකාර්මික උපකරණ ලබා දීම සඳහා රුපියල් මිලියන 58ක මුදලක් වෙන් කර ඇති බව ද හෙතෙම පැවසීය.
තරුණ පරම්පරාව සාම්ප්‍රදායික ගොවිතැනින් ඈත්වීම වැළැක්වීම සඳහා පස සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ සියලු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වැන්න ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා නව බීජ පර්යේෂණ ආරම්භ කර ඇති අතර, වැඩිදියුණු කළ බීජ වර්ග හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වී ගොවිතැන සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් ලෙස පැවති පොහොර සහනාධාරය වසර දෙකක් ඇතුළත රුපියල් 30,000 දක්වා දෙගුණ කිරීමට රජය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම සහනාධාරය ක්ෂේත්‍ර භෝග ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද ලබා දීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
දැනට පවතින වී අතිරික්තය ප්‍රයෝජනයට ගනිමින් සහල් ආශ්‍රිත අගය එකතු කළ නව නිෂ්පාදන හඳුන්වා දීම සහ ඉහළ ඉල්ලුමක් පවතින වෙනත් භෝග වගා කිරීම දිරිමත් කිරීම සඳහා ද සැලසුම් කර ඇති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු, කැස්බෑව ගොවිජන සේවා කාරක සභාවේ නියෝජිතයෝ සහ ප්‍රදේශයේ ගොවි ජනතාව සහභාගි වූහ.









