පාකිස්ථානයේ ලාහෝර් නගරයේදී අසර්බයිජාන ජාතික 20 හැවිරිදි කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබාදී පුද්ගලයන් තිදෙනෙකු විසින් සමූහ ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ව්‍යාපාරික කටයුත්තක් සඳහා පාකිස්ථානයට පැමිණ සිටි මෙම කාන්තාව ලාහෝර් නගරයේ රේවින්ඩ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
කාන්තාව පවසන්නේ කාන්තාවන් දෙදෙනෙකු තමන්ට රාත්‍රී ආහාරය සඳහා ආපනශාලාවකට යාමට ආරාධනා කළ බවයි.
එහිදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකුද ඔවුන් සමඟ එක්වී තිබෙනවා.
ආහාර ගැනීමෙන් පසු තමන් ඇතුළු කාන්තාවන් තිදෙනා නිවසට ඇරලවීමට මෝටර් රථයකින් රැගෙන යන බව පවසා ඇති බවත්, එහෙත් ඔවුන් තමන් හඳුනා නොගත් මහල් නිවාසයකට රැගෙන ගිය බවත් ඇය පවසනවා.
එහිදී තමන්ට මත්ද්‍රව්‍යයක් ලබාදී අලුයම 2 පමණ වන තුරු පුද්ගලයන් තිදෙනෙකු විසින් සමූහ ලිංගික අතවරයක් සිදුකළ බවත්, පසුව ගාසි අන්තර් හුවමාරුව ආසන්නයේ තමන් අතහැර දමා ගිය බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
සැකකරුවන් තම ජංගම දුරකථනය ඇතුළු වටිනා භාණ්ඩද රැගෙන ගිය බව ඇය සඳහන් කර තිබෙනවා.
ලාහෝර් නියෝජ්‍ය පොලිස්පති ෆයිසාල් කම්රාන් පවසන්නේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.
සිද්ධියට භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, ලාහෝර් නගරය තුළ ලිංගික අපරාධ සම්බන්ධ සිද්ධීන් ඉහළ යමින් පවතින බවද වාර්තා වනවා.
මෙම වසරේ පළමු මාස අට තුළ පමණක් ලිංගික අතවර සිද්ධීන් 1,180ක් වාර්තා වී ඇති බව සඳහන්.
පසුගිය ජූලි මාසයේදී නෙදර්ලන්ත සහ වෙනිසියුලා ජාතික කාන්තාවන් දෙදෙනෙකුද එම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ලිංගික අතවරයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබුණා.
පොලිසිය ඔවුන් පැය දෙකකට පසු මුදාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.













