මාර්ග 07ක ක්‍රියාත්මක කළ බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ හොඳ ප්‍රගතියක් – පොලිසිය

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) පෙරවරුවේ සිට කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල මාර්ග කිහිපයක ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.

ඒ, අනුව බස් ප්‍රමුඛතා මංතීරු නීතිය පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.

අද (29) පෙරවරු සිට ආරම්භ කළ බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ හොඳ ප්‍රගතියක් දක්නට තිබූ බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ.

අද (29) දිනයේ මාර්ග හතක් සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී මෙම ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ .

ඒ අනුව මාකුඹුරේ සිට කොටුව දක්වා, මිලේනියම් සිටි සිට කොටුව දක්වා, කඩවත සිට මාකුඹුර දක්වා, දෙමටගොඩ සිට පානදුර දක්වා, බත්තරමුල්ල සිට ජාඇල දක්වා, කොල්ලුපිටිය සිට බම්බලපිටිය දක්වා, කහතුඩුව සිට පිටකොටුව දක්වා මෙලෙස බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා,

“මෙම මංතීරු නීතිය ක්‍රියාත්මකවන වේලාවන් ලෙස උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, සවස 4.00 සිට 7.00 දක්වාත් කාලය නම් කර තිබෙනවා. එම කාලය තුළ ගැසට් පත්‍රයේ සඳහන් නීතිමය බලතල අනුව, මංතීරු ක්‍රියාත්මක වන අවස්ථාවේදී කිසිදු වාහනයකට එම මංතීරුවට ඇතුළුවීම හෝ එහි වාහන නවතා තැබීම සිදු කළ නොහැකියි. කෙසේ වෙතත්, විශේෂ අවස්ථා කිහිපයක් තිබෙනවා. රිය අනතුරක් සිදුවූ අවස්ථාවක දී, මාර්ග තදබදයක් පවතින අවස්ථාවක දී හෝ එම මංතීරු හරහා වෙනත් මාර්ගයකට එළඹෙනවා නම් ඒක ක්‍රොස් කරන්න පුළුවන්. එවැනි විශේෂ අවස්ථා කිහිපයක් හැරුණු විට, මංතීරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම නීතිය කඩ කිරීමට හැකියාවක් නැහැ.
යම් පුද්ගලයෙකු නීතිය කඩ කළහොත් අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා. දැනටමත් දඩ පත්‍රිකා ලබාදීම ආරම්භ කර තිබෙනවා. අද දිනයේ සිට මෙම ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදීත් නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩ ක්‍රියාත්මක කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්