දිවයිනට ඊශාන දෙසින් අඩු පීඩන කලාපයක් – හෙටත් තද වැසි

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව හෙට (21) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ පැවසෙනවා.

ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.