දරුණු ගංවතුරෙන් ජලවිදුලි බලාගාර රැසකට හානි සිදුවීමත් සමඟ මතුව ඇති විදුලි හිඟයට මුහුණදීම සඳහා නේපාලයට දිනකට පැය 18ක් විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා.
ඉන්දීය විදුලිබල අමාත්‍යාංශයට අනුව මෙම විදුලි සැපයුම දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, නේපාලයට මෙගාවොට් 654ක් දක්වා විදුලිය අපනයනය කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ලබන ජනවාරි මාසයේ සිට ලබාදෙන විදුලි ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී යළි සමාලෝචනය කිරීමට නියමිතයි.
පසුගිය මාසයේ හිමාල කලාපයේ ග්ලැසියරයක් බිඳවැටීමත් සමඟ ඇතිවූ දැවැන්ත ගංවතුරෙන් නේපාලයේ විදුලි ජනන ධාරිතාවෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව වාර්තා වනවා.
ගංවතුරෙන් නේපාලයේ ජලවිදුලි බලාගාර 12කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, විදුලි බලාගාර සේවකයන් 900ක් පමණ ඇතුළුව පුද්ගලයන් 5,300කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
නේපාලයේ විදුලි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරාලන්නේ ජලවිදුලි බලයෙන්. එය මෑත වසරවල එරට වේගයෙන් වර්ධනය වූ අපනයන ආදායම් මාර්ගයක් ද වී තිබුණා.
කෙසේ වෙතත්, ප්‍රධාන ජලවිදුලි නිෂ්පාදන කලාපයක් වන Bagmati පළාතට ගංවතුරෙන් දැඩි හානි සිදුවීමෙන් පසු නේපාලය විදුලි අපනයනය නතර කර, දේශීය හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කළා.













