මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනා ලබන 17 වනදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්රධාන මහේස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මහේස්ත්රාත්වරිය එසේ නියෝග කළේ අද (15) සැකකරු අංක 61 සිට 81 දක්වා නම් කර ඇති සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ දීයි.
එම කාන්තා සැකකරුවන් 25 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ද එදිනට ඉදිරිපත් කරන ලෙස ද එහිදි මහෙස්ත්රාත්වරිය නියෝග කළා.
එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.
ඒ අනුව මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළ අතර සැකකරුවන් 81ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
අද (15) සැකකරුවන් 30 දෙනෙකු (සැකකරු අංක 31 සිට 60 දක්වා) හඳුනාගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ අතර මීගමුව ප්රධාන මහේස්ත්රාත් ශීලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබුවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග මහේස්ත්රාත්වරිය නිකුත් කළ අතර, සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් (01සිට – 81දක්වා ) වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ (01) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චිගේ ප්රධානත්වයෙන් ප්රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක,පොලිස් කොස්තාපල්වරුන් වන දුලංග, ජයසූරිය, බණ්ඩාර, අනිල්, අසේල , සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.
ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22ක් ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපළ පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව යළි ලබන 17 වනදා කැඳවීමට නියමිතයි.













