මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.
ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය මංගල ගුවන් ගමන සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි.
සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා ඉහළින්, මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක්.
පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ සුවපහසු ලෙස ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසක් එම යානය තුළ පවතිනවා.
සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක පවතින ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානා ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනවා.
ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ට්‍රිලියනපති ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් ද සිටිනවා.
මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ මහතායි.
රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලය ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන ව්‍යාපාර ජාලයක්.
ඔහු සමඟ මෙම විශේෂ ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ මහත්මියද එක්ව සිටියා.













