කෝටි පහකට අධික “කුෂ් සහ හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය සැකකරුවන් දෙදෙනෙක් අද (08) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයෙහි මුළු වටිනාකම රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටකර ගෙන යාමට තැත් කරමින් සිටි අවස්ථාවේදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන්.
සැකකරුවන් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 496ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 641ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් විසින් රැගෙන එන ලද ගමන් මලු දෙකෙහි විටමින් අඩංගු බඳුන් 16ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය සඟවා ගෙනවිත් ඇති අතර, හෂීෂ් මත්ද්‍රව්‍ය බාහිරින් “මිදි තලපයක්” ( Black Current Phast ) ආකාරයට සකස් කර එය පොලිතින්වල බහා ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් දෙදෙනා අද (08) අලුයම 12.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.













