සමාජ මාධ්‍ය සංසරණය වන අම්බලන්ගොඩ පොලිසිය තුළ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක් සම්බන්ධව වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මෙහි විමර්ශන ආරම්භකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී තිබෙන බව පවසමින් තරුණයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වනවා.

අදාළ වීඩියෝවේ පියා ලෙසින් හඳුන්වන වියපත් පුද්ගලයා පෙරේදා (24) දින රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සාහ දරා ඇති බවත්, දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අනතුරුව එම පුද්ගලයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (25) බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.