ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) රාත්‍රියේ එක්ව සිටියා.
මෙහිදී, ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට ද සහභාගි වී ආශිර්වාද ලබා ගැනීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.
ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැඟුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්, අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමඟ ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම, රටේ සියලු ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම අවස්ථාව අපේ රටේ අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය ද පෙන්නුම් කරන අවස්ථාවක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ඓතිහාසික කාර්යභාරය වෙනුවෙන් මගපෙන්වීම සිදු කළ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේටත්, මීට දායකත්වය ලබා දුන් බස්නායක නිලමේවරයා ඇතුලු සියලුදෙනා වෙතත් කෘතවේදීත්වය පළකර සිටියා.













