පාපන්දු ලෝක ශූර ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ සිය මව්බිමට පැමිණියා.
රන් කුසලානය ද සමඟ මව්බිමට පැමිණි ලා රෝජාට එහිදී හිමි වුණේ රාජකීය පිළිගැනීමක්.
එහිදී ලක්ෂ සංඛ්‍යාත ස්පාඤ්ඤ වැසියන් මැඩ්රිඩ් හි ඓතිහාසික සිබෙල්ස් චතුරශ්‍රය දක්වා මංපෙත් දෙපස රැස්ව ලෝක ශූර ස්පාඤ්ඤ කණ්ඩායමට සුබපැතුම් පිරිනැමුවා.
ලෝක ශූර ස්පාඤ්ඤ කණ්ඩායම අගමැති නිල නිවස වන මොන්ක්ලෝවා මාලිගය අසල සිට සිබෙල්ස් චතුරශ්‍රය දක්වා මැඩ්රිඩ් හි මංපෙත් දිගේ ගමන් කළ අතර, මැඩ්රිඩ් බලධාරීන් පැවසුවේ මෙම උත්සවයක් සඳහා මිලියන දෙකක පමණ පිරිසක් මැඩ්රිඩ් වෙත පැමිණ සිටි බවයි.
අගමැති නිල නිවසේ සිට සිබෙල්ස් චතුරශ්‍රය දක්වා ලෝක ශූර ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම විශේෂයෙන් සැකසු බස් රථයකින් ගමන් කළ අතර, එම බස් රථයේ “තරු එකට බැබළෙයි” යනුවෙන් ලියා තිබූ අතර, එහි ලෝක ශූරයින්ගේ ඡායාරූප ද එක්කර තිබුණා.













