හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව අදාළ ගිනි අවිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සඳුදා දිනයේ රස පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයට පෙර ඔහු පදිංචිව සිටි මාලබේ, තලාහේනේ පිහිටි නිවසට ඔහුව හමුවීම සඳහන් පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ නිවසේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් ඊයේ (17) පෙරවරුවේ ඔහු පදිංචිව සිටි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝල වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.
මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු ලබන සඳුදා (20) දිනයේ බොරැල්ල පොදු සුසන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.













