2023 සහ 2025 අතර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය විසින් නීති ගාස්තු සහ ඒ ආශ්‍රිත වියදම් සඳහා රුපියල් මිලියන 681 කට වඩා වියදමක් දරා ඇති බව සති අන්තයේ ජාතික පුවත් පතක්වන The Sunday Times විසින් වාර්තා කරනවා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ නඩු, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි අපහාස ක්‍රියාමාර්ග, වාණිජ ආරවුල් සහ බදු කරුණු ඇතුළුව වසර තුනක කාලය තුළ නීති නියෝජනය සඳහා රුපියල් මිලියන 681.17 ක් වියදම් කර ඇති බව නිල ගෙවීම් වවුචර්වලින් පෙන්නුම් කරන බවයි එම පුවත්පත නවරණය කරන්නේ.
එම පුවත්පතට අනුව, නීතිමය වියදම 2023 දී රුපියල් මිලියන 264.6 ක් ලෙස වාර්තා වී ඇති අතර, ඉන් පසුව 2024 දී රුපියල් මිලියන 250.5 ක් සහ 2025 දී රුපියල් මිලියන 166ක් වනවා.
මේ අතර වත්මන් ශ්‍රී ලංකා අන්තර්කාලීන ක්‍රිකට් පරිපාලනය, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ගොනු කර ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගෙන ඇති බවට ද The Sunday Times වාර්තා කරනවා.













