කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු මැලේසියාවේ රැඳීසිටිය දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

මොහු ඊයේ (25) රාත්‍රී 09.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරණ ගුවන් යානයෙන් පිටුවහල් කර එවා තිබුණා.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ,යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණා.