කෝටි 07ක කුෂ් සමඟ දෙමටගොඩ ත්‍රිරෝද රථ රියැදුරුවරයෙක් මාට්ටු

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ඒවා එහි පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (19) දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙක්.

ඔහු අද (19) දින පෙරවරු 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් බෑගය තු , සුළං නොවදින ලෙස අසුරා සකස් කළ පැකැට් 12ක් තුළ, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 ග්‍රෑම් 500 ක ප්‍රමාණය සගවා ගෙන ගෙනැවිත් තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.