මධ්‍යම පළාතේ පාසල් 14කට නව විදුහල්පතිවරුන් පත්කෙරේ

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 08කට අයත් පාසල් 14ක් සඳහා නව විදුහල්පතිවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබු මෙම අවස්ථාවේදී මහනුවර, දෙනුවර, තෙල්දෙණිය,  කටුගස්තොට,වත්තේගම, කොත්මලේ, හැටන්‍ සහ නුවරඑළිය යන අධ්‍යාපන කලාපවලට අයත් 1සී, 2 සහ 3 වර්ගයන්ට අයත් පාසල් සඳහා මෙම නව විදුහල්පතිවරුන් පත්කෙරුණා. 

මෙම අවස්ථාව සඳහා මධ්‍යම  පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි, අතිරේක පළාත් අධ්‍යක්ෂ (පාලන) මංගලිකා දිසානායක, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි.එම්.ඒ.කේ.ඇලිකේවෙල සහ ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් සහ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා පත්වීම් ලද විදුහල්පතිවරුන් පිරිසක් එක්ව සිටියා.