මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ දී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරකට ලක්කර පලාගොස් තිබුණා.
ඊයේ (31) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුකළ බව කියන සැකකාර රියදුරා ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා.
තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.













