කපිලගේ නීතිඥයින් දෙපළට අධිකරණයෙන් දැනුම්දීමක්

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සාක්ෂියට අදාලව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයෙන් සිතාසියක් ලදහොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දුන්නා.

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි අංක 19 සහ 20 යන සාක්ෂිකරුවන් වන මෙම නීතිඥවරුන් දෙදෙනාගෙන් අද සාක්ෂි කැඳවීමට තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංගමයේ සභාපති වන රජිව් අමරසූරිය සඳහන් කර සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 /5 වගන්තිය ප්‍රකාරව මෙම නීතිඥවරුන් දෙදෙනා මෙම මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍යතාවයක් ඇත්දැයි අධිකරණයෙන් අසා සිටින බවයි.

තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මෙලෙස සඳහන් කළා.

“නීතිඥවරයෙකුට සාක්ෂි ආඥා පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති ආඥා පනත අනුව වෘත්තිය කටයුතු මෙහෙය වීමේදී තම සේවා දායකයා සමඟ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. තවද සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය අනුව නීතිඥවරයා වෘත්තීය කටයුතුවලදී රාහස්‍යභාවය ආරක්ෂා කළ යුතුයි. කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් හේතු සෙවීමට තමයි මෙම පරීක්‍ෂණය සිදුකරන්නේ. එම මරණ පරීක්ෂණයට ඔහුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමට තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක් මත ද යන්න මම අධිකරණයෙන් විමසා සිටිනවා.

තවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනතේ 370/5 වගන්තිය ප්‍රකාරව වගකීමක් පැවරී තිබෙනවා සාක්ෂිකරුවෙක් පරීක්ෂණයට අදාල වෙනවාද නැද්ද සලකා බලන්න ඔබතුමා හට” යනුවෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ, අනුව මහේස්ත්‍රාත්වරයා මෙම මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් කුමන කාරණාවක් හේතුවෙන් 19 සහ 20 සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීමට තීරණය කර ඇත්දැයි කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමසා සිටියා.

එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා සඳහන් කර සිටියේ 2025 මැයි මස 05 දින කපිල චන්ද්‍රසේනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩුවකට ඇප ලබා ගත් බවයි.

එහිදී ඇප ලබාදීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරයා වශයෙන් මෙම ජනාධිපති නීතිඥවරයා කටයුතු කර ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ සඳහන් කළේ.

තවද මෙම සිද්ධියට අදාලව ඇප ලබාදීමේදී ඇති වූ සිද්ධියක් හේතු කොටගෙන නැවතත් කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර,ඒ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් මෙම නීතිඥවරයා හමුවීමට ගොස් ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

තවද අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් කපිල චන්ද්‍රසේන සහ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බවත්,ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා 19 සහ 20 ලෙස මෙම සාක්ෂිකරුවන් නම්කර ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළ 19 සහ 20 සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 02 වන දින ලබාදෙන තෙක් නඩුව කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්