ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් දශක ගණනාවක් තිස්සේ මුහුණ දී සිටින ගැටලු සහ පොදු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.
එමෙන්ම මාස දෙකකට හෝ තුනකට වරක් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරුණා.
කඳුරට ප්‍රදේශවල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර තම ගැටලු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ රජයට ස්තුතිය පිරිනමන බව හින්දු ආගමික නායකයෝ මෙහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු පූජකවරුද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුද්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













