මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන බාහිර මූල්‍ය අවදානම් පදනම් කරගනිමින්, ෆිච් රේටිංස් (Fitch Ratings) ආයතනය බංග්ලාදේශයේ දිගුකාලීන විදේශ විනිමය නිකුත් කරන්නන්ගේ පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් (IDR) හි ආර්ථික දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ සිට ‘සෘණාත්මක’ (Negative) මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සමස්ත ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ මට්ටමේ තවදුරටත් ස්ථාවරව පවත්වා ගැනීමට එම ආයතනය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළවන්නේ.
රොයිටර් පුවත් සේවයට අනුව, බංග්ලාදේශයට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග කලාපය මත රඳා පවතින බැවින් මෙම තත්ත්වය මතු වී ඇති අතර ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය සංචිතවලට එල්ල වී ඇති පීඩනය මෙයට හේතු වී තිබෙනවා.
එසේම, රටේ බැංකු ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා සහ උද්ධමනය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහන වැඩසටහන්වල අවිනිශ්චිතතාවක් ද මතු වී ඇති බව වාර්තා වනවා.













