පසුගිය 12 වනදා සිට ආරම්භ වූ උත්සව සමයේ දියේ ගිලී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එහි ආසන්නතම සිදුවීම් දෙකක් ඊයේ (17) දිනයේ මිහින්තලය පොලිස් වසමේ මරදන්කුලම ප්‍රදේශයෙන් සහ දෙහිඕවිට පොලිස් වසමේ හිඟුරලකන්ද ප්‍රදේශයෙන වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (17) දහවල් මිහින්තලය පොලිස් වසමේ මරදන්කුලම වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම පුද්ගලයා මිතුරෙකු සමඟ මරදන්කුලම වැවට ගොස් සිටින අවස්ථාවේ දිය නාමින් සිටි මරණකරුගේ පුත්‍රයා සහ තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක එම පුද්ගලයා වැවට පැන දරුවන් බේරාගැනීමට යාමේදී දියේ ගිලී මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අවුරුදු 11 හා 12 වයස්වල පසු වන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ.
මේ අතර ඊයේ (17) දහවල් දෙහිඕවිට පොලිස් වසමේ හිඟුරලකන්ද ප්‍රදේශයේ දී සීතාවක ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට දෙහිඕවිට පොලිසිය පවසනවා.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ අවරුදු 17ක තරුණයෙක්.
මෙම තරුණයා ඔහුගේ ඥාතීන් පිරිසක් සමඟ දෙහිඕවිට ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සීතාවක ගඟේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
දෙහිඕවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මෙම අවාසනාවන්ත සිද්ධීන් දෙකත් සමඟ පසුගිය 12 වනදා සිට ඊයේ (17) දිනය දක්වා දියේ ගිලී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.













