ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරනු ලබන විවිධ ව්‍යාපෘති ඒවායේ අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු නිලධාරියෙකු නොමැති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වුණා.
ඒ, හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් අපේක්ෂිත සේවය නිසි ආකාරයෙන් ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කාරක සභාව පෙන්වා දෙනු ලැබුවා.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් කාරක සභාව 2026.03.20 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති සැලසුම් කළ කාලයට අවසන් නොකිරීම හා අවසන් කිරීමට සැලසුම් කළ කාලයට වඩා දෙගුණයකට වඩා කාලයක් ගත වීම පිළිබඳව සිය නොසතුට පළ කළා.
කෙසේ වෙතත් මණ්ඩලය මගින් ආරම්භ කර ඇති ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වගකිව යුතු පිරිස් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය සඳහා වෙනම යාන්ත්‍රණයක් සැකසීමට සැලසුම් කර ඇති බව ද නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත පැවසුවා.
ඒ, අනුව ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ ඔස්සේ ව්‍යාපෘතියක් ආරම්භයේ සිට අවසානය දක්වා එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය, ගුණාත්මකභාවය ඇතුළු සියලු කටයුතු පරීක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම සිදුකරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාවට අවධාරණය කර සිටියා.
එමෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ අනුමත කාර්යමණ්ඩලය 126ක් වුවද මේ වන විට ඉන් තනතුරු 19ක පුරප්පාඩු පැවතීම පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
අභ්‍යන්තර විගණනය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ආයතනයේ ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
ඒ, හේතුවෙන් අදාළ පුරප්පාඩු සම්පූර්ණ කරමින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කර විෂමාචාර ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම විගණනය විසින් පෙන්වා දී ඇති කරුණු සාකච්ඡා කරමින්, ආයතනයේ විනය පරීක්ෂණ නිසි කාල වකවානුවලට සිදුනොකිරීම පිළිබඳවද කාරක සභාව සිය අසතුට පළ කළා.
ඒ හේතුවෙන් චෝදනාවන්ට ලක් වන පිරිස් අපහසුතාවන්ට පත් වන බවත්, යම් සේවකයෙකු වෙත විනය චෝදනාවක් ගොනු කරන්නේ නම් එය කඩිනමින් විභාග කොට අවසන් තීරණය ලබාදීමට කටයුතු කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරියෙකු නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වී තිබුණ ද අමාත්‍යාංශ නිලධාරියෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කර නොතිබීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව පනත සංශෝධනය කරමින් අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිලධාරීහු පැවසුවා.
ආදායම් නොලබන ජල අනුපාතය අවම කිරීම සඳහා දත්ත ලබා ගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික්කය තුළ බෙදාහැරීමට රුපියල් මිලියන 258ක් වැය කර ස්ථාපිත කර තිබූ DMA මීටර් පද්ධති 78න් මීටර් පද්ධති 65ක් 2024.12.31 වන විට දෝෂ නිසා අක්‍රියව පැවතීම පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ඒ, අනුව එම සිද්ධිය පිළිබඳව පූර්ණ වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.













