ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විසින් අද (26) කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළා.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ මේ වන විට ගොඩබා ඇති ගල් අඟුරු නෞකා 08ක් මඟින් රුපියල් මිලියන 7000කට අධික මුදලක් පාඩු සිදුව ඇති බවයි.
එවන් තත්ත්වයක් මත රජය තවමත් එම ගල්අඟුරු ගෙන ආ සමාගම සමඟ පවතින ගිවිසුම අවලංගු කර ගැනීමට කිසිඳු හෝ පියවරක් නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එමෙන්ම මෙම ගල් අඟුරු ගෙන්වූ සමාගම මීට පෙර මෙරටට සහල් ආනයන කර ඇති බවත් එම සහල් ආනයන කිරීමට අදාළ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කළ සමාගමක් බවත් ඔහු පෙන්වා දුන්නා.
”විගණකාධිපතිතුමා 2016 සැප්තැම්බර් මාසයේ දී, ඒ වාර්තාවේ පැහැදිලිව, මේ ගල් අඟුරු ගෙන්නන සමාගම මීට කලින් අපේ රටට හාල් supply කරලා ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි කඩ කරලා, tender procedure කඩ කරපු සමාගමක් හැටියට ඒ සමාගම Blacklist කරලා තියෙන්නේ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.













