විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුව දෙසැම්බර් 7 දක්වා කල්යයි

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් 07වැනි දින විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහුට විරෝධය පාමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවුණා.

එම අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මං මාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව අද:02- කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය දෙසැම්බර් මස 7 වනදා කැඳවන ලෙස නියම කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සීට් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙහි සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබෙනවා.