සවස්වරුවේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

අද (02) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව අනුරාධපුර , අම්පාර , කළුතර, කුරු ණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, පුත්තලම , පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, රත්නපුර, වව්නියා , හම්බන්තොට දිස්ත්‍රික්කවල අද සවස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ඒ සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින හේතුවෙන් මහජනතාව එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරනවා.

ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් විදුලි බිදවැටීම් හෝ විදුලි උපකරණවලට හානි ඇති විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින මෙන් මහජනතාවට අවවාද කර තිබෙනවා.

කුඹුරු , තේ වතු, ක්‍රීඩාපිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී සිටීමෙන් වලකින මෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති උපදෙස් වල සඳහන් වෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින මෙන්ද, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින ලෙසද, තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස ද මහජනතාව වෙතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.