උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක් අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.
මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීම සඳහා සැකකාරිය විසින් ඉහත අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙර ලබාගෙන තිබූ රුපියල් 500ට අමතරව ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබා ගැනීමට ඊයේ (16) දිනයේ පැමිණෙන ලෙසත් සැකකාරිය දැනුම් දී ඇති අතර ඒ අනුව උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රුපියල් 500ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



