කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන්; 20-20 ලෝක කුසලානය අද ඇරඹේ

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ අද (07) ආරම්භ වනවා.

කණ්ඩායම් 20ක් කාණ්ඩ 04ක් යටතේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තරග වදින අතර, අවසන් මහා තරගය ද ඇතුළුව තරගාවලියේ සමස්ත තරග 55ක් ක්‍රියාත්මකයි.

සමස්ත තරග පනස් පහෙන් තරග 20ක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 03ක දී පැවැත්වෙන අතර අනෙකුත් තරග 35 ඉන්දියාවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය ද ඉන්දියාවේ දී පැවැත්වීමට මේ වනවිට සැලසුම්කර ඇති අතර, යම් හෙයකින් පාකිස්ථානය අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබුවොත් එම තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පාකිස්ථානය ක්‍රීඩාකරන අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය ද ඇතුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරග සංඛ්‍යාව 22ක් දකවා ඉහළ යනවා.

අද ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ තරගවරට පෙබරවාරි 22 වනදා ආරම්භ වන අතර, පළමු අවසන් පූර්ව තරගය මාර්තු මස 04 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

දෙවන අවසන් පූර්ව තරගය මාර්තු මස 05 වනදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා මාර්තු මස 08 වන ඉරිදා දිනය වෙන්කර තිබෙනවා.

මාසයකට වැඩි කාලයක් පැවැත්වෙන 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අරඹමින් පළමු තරගය ලෙස පාකිස්ථානය සහ නෙදර්ලන්තය අද (07) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසීමට නියමිතයි.

දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරග පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ පැවැත්වෙන අනෙකුත් තරග දෙක බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර කොල්කටාහි දී පැවැත්වෙනවා.

එමෙන්ම සත්කාරක ඉන්දියාව අද දිනයේ දී තරග බිමට පිවිසෙන අතර, මුම්බායිහිදී පැවැත්වෙන මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඇමරිකානු කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ෂණීයම තරග රටාව ලෙස සැලකෙන විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ ලෝක කුසලානයක් පැවැත්වෙන දසවන අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?