ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබාගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබාදෙන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදීයි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් මිලියන 30ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
ගංගාරාම විහාරස්ථානය සමග සමීපව කටයුතු කරන දෙස්, විදෙස් කණ්ඩායම්වල සහයෝගය ඉදිරියේදී මෙම අරමුදලට ලබාදීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ, මෙම අසීරු අවස්ථාවේ ජනතාවට සහන සලසමින්, රටට නිවැරදි නායකත්වයක් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළා.
රටත්, ජනතාවත් අසීරුතාවට පත් වු සෑම මොහොතකම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ කටයුතු කළ අන්දම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී ද ලබාදෙන දායකත්වය ද කෘතවේදීව අගය කර සිටියා.
විහාරස්ථ සහ විදේශීය ස්වාමීන් වහන්සේලා පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයෝ සහ විදෙස් නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.















