මිතුරන් සමඟ එක්ව සිය මව ඝාතනය කර එම අපරාධය සියදිවි නසා ගැනීමක් ලෙස ඇඟවීමට උත්සාහ කළ 17 හැවිරිදි දැරියක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ දැරිය ඇගේ පෙම්වතා සහ පිරිමි මිතුරන් සමඟ එක්ව උත්තරහල්ලි හි නිවස තුළ දී මව ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුගිය ඔක්තෝබර් 25 වනදා මෙම අපරාධය සිදුකර ඇති අතර, තුවායකින් මවගේ ගෙල සිරකර මරාදමා, පසුව සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට සාරියක් භාවිත කර ඇගේ සිරුර සිවිලිමේ විදුලි පංකාවක එල්ලා ඔවුන් පලාගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
තම දියණිය තම නිවසට නිතර යන එන පිරිමි ළමයෙකු සමඟ සම්බන්ධයක් පවත්වන බවට මව විසින් මෑතකදී තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.
එහිදී මව ඊට විරුද්ධ වී ඔහුගෙන් ඈත්ව සිටින ලෙස දැරියට අවවාද කර තිබූ බව ද සඳහන්.
මොවුන් දෙදෙනා එකිනෙකා මුණගැසී ඇත්තේ දැරියගේ ඥාති සහෝදරයා හරහා බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ.
අපරාධය සම්බන්ධයෙන් දැරිය සහ ඇගේ පෙම්වතා සමඟ තවත් බාලවයස්කරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.





