ඇසල පෙරහැර හේතුවෙන් මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

ඇසල පෙරහැර සදහා ක්‍රියාත්මක විශේෂ රථ වාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සඳහන් කරයි. මෙය මහනුවර නගරය මූලික කර ගෙන ක්‍රියාත්මක කෙරේ.

පෙරහැර පැවැත්වෙන කාලය තුළ නගරයට වාහන ඇතුලු වීම අත්හිටුවනු ලබන අතර, පොදු ජනතාවට ගමන් කිරීම පහසු කරවීම සඳහා විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි පොලිසිය පවසයි.

පළමු කුඹල් පෙරහැර ආරම්භය සමඟ ආරම්භ වන මෙම වාහන සැලැස්ම අවසන් රන්දෝලි පෙරහැර හා පසුව පැවැත්වෙන දහවල් පෙරහැර අවසන් වනතුරු ක්‍රියාත්මක වේ.

කටුගස්තොට, නිත්තවෙල මාර්ගය සහ විද්‍යාරත්ත විදුහල අසල සිට පුෂ්පදාන විදුහල දක්වා දිවෙන මාර්ගය, ලේවැල්ල, රතුබොක්කුව, පේරාදෙණිය සහ විලියම් ගොපල්ලව මාවත යන ප්‍රදේශ අවට විකල්ප මාර්ග ලෙස භාවිත කෙරේ.

මෙම අවස්ථාව නිමිත්ත කරගෙන, මහනුවර නගරය තුළ වාහන නැවැත්වීම සීමා කිරීමටද රථ වාහන පොලිසිය පියවර ගෙන ඇත.

ඇසල පෙරහැර ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු නිලධාරීන් 6000කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරි යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පැවසීය.