වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමේ දී එම යතුරුපැදිය අනතුරට ලක්ව තිබෙනවා.
ඊයේ (11) රාත්‍රියේ සිදු වූ එම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.
අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී අදාළ යතුරුපැදිකරු, යතුරුපැදිය ද සමඟ මාර්ගයේ වැටී හිස මාර්ගයේ වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක්.
අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්විමට් සමඟ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට චෝදනා කරමින් මළ සිරුර රැගෙන යාමට විරුද්ධත්වය පළ කරමින් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.
කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් එහිදී පවසා ඇත්තේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, පොලිසිය වෙත මළ සිරුර භාරදිය නොහැකි බවයි.
එහිදී අදාළ ස්ථානයට වවුනියාව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා,වවුනියාව හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව වවුනියාව පොලිසිය විසින් මෘත ශරීරය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය සමග ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.















