කළුතර – පනාපිටියේ දී පුද්ගලයෙකුගේ නිවසට ඇතුල් වී ඝාතනය කළ අපරාධ කල්ලියේ ප්‍රධාන සැකකරු, එම ඝාතනයට යොදාගත් තියුණු ආයුධ සහ එම ඝාතනය සිදු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය ද සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ජුනි මස 07 වැනි දා මෙම ඝාතනයට ලක් වූයේ කළුතර ප්‍රාදේශීය සභාවේ සේවය කරමින් සිටි අයෙක්.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඝාතනය සිදු කළ පුද්ගලයා කළුතර – මින්නේරිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ඊයේ (12) දින මින්නේරිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේ දී එම ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ දෙකක් , ත්‍රීවිල් රථය ද එම ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබියදී පොලිස් භාරයට ගැනුණා.
අදාළ ඝාතනයට වාද්දුව ප්‍රදේශයේ සිට ත්‍රීවිල් රථයක හය දෙනෙකු පැමිණ ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විදෙස් රටක සැඟව සිටින කළුතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව සිදු කළ ඝාතනයක් බවත්, හෙළි ව තිබෙනවා.
කෙසේවෙතත් ඝාතනයට ලක් වූ තැනැත්තා අපරාධකරුවන්ට වැරදීමකින් සිදු වූ ඝාතනයක් බවත්, ඝාතකයින් බීමතින් සිටි බැවින්, ඔවුන්ගේ ඉලක්කයට ලක් ව සිටි තැනැත්තාගේ නිවස වෙනුවට පෙන්වා ඇත්තේ වෙනත් අයෙකුගේ නිවසක් බවත්, මරණකරු කිසිදු චෝදනාවකට හෝ සම්බන්ධ අයෙකු නොවන බවත් පොලිසිය හෙළි කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඝාතනයට සම්බන්ධ වූ සෙසු පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර ද මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසකට ලක් වූ අයෙක් බවයි හෙළි ව ඇත්තේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (13) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





