අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරු පොලිසිය හමුවේ විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයින් විසින් මෙම අපරාධය සඳහා තමන්ව සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ කරගත් බව වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
කෙසේ වෙතත් සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මිට පෙර පවසා තිබුණේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් මෙම ඝාතනය සිදුකළ බවයි.
එම කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් කෝටි එක හමාරක මුදලක් තමන්ට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වී සිටි බවත් වෙඩික්කරු හෙළිකර තිබුණා.
මේ අතර මෙම අපරාධයට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තිදෙනෙක් එළඹෙන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.