spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ළමුන්ගේ අනාගතය වෙනුවෙන් ජනපති ගුරුවරුන්ට සැරවෙයි

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමින්.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහි දී සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළා.

එමෙන්ම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය හරහා සිදුකිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ද අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුව ද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.
අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා. ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත්වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40-50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්.
මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි. ඒ, අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.
අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදුකළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබාදුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා.
මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා. පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා, බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.
අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.
ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.
උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.
ඒ, නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?