සා.පෙළ විභාගය අවසන් වූ වහාම උ.පෙළ පන්ති ඇරඹේ

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම හේතුවෙන් අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ මෙම අභියෝගාත්මක කාර්යය සිදුකිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවත් මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන බවත් ඔහු මෙහි දී පැවසුවා.

1 සිට 11 දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍වක් මෙහි දී මතු වන බැවින් ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබාදීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වාගනිමින් මෙම වසරත් සමඟ වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට ගෙන ඒම බවත් එය සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ ම සහයෝගය හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
13
+1
2
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?