spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් සෙබළා හා පොලිසිය අතර සිදු වූ පාදුක්කේ වෙඩි හුවමාරුව ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ මෙම ගුවන් හමුදා සෙබළා ඊයේ (07) දිනයේ මොරගහහේන, තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

අද (08) අලුයම් කාලයේ දී පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අංගමුව ප්‍රදේශයේ විශේෂ මුර සංචාරක නිරතව සිට ඇති අතර, එහිදී යොදා තිබූ මාර්ග බාධකයක දී යතුරුපැදියක් නවත්වන ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගුවන් හමුදා සෙබළා අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර, ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ද යතුරුපැදිකරු දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර, එහිදී ගුවන් හමුදා සෙබළා වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇති ගුවන් හමුදා කෝප්‍රල්වරයා පාදුක්ක, මිරියගල්ල, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි අයෙක්.

මොහු විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව ද පොලිසිය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාපරාධී ක්‍රියාවලට තම නිලධාරීන් සම්බන්ධ කර ගැනීම බරපතල ලෙස සලකන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
6
+1
7
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?