08 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට IT සමඟ AI හැදෑරීමට 19 වනදා සිට අවස්ථාව

ඉදිරියේ දී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබාදෙන පීඩනය නතර කළ යුතු බවත් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවත්, එළඹෙන මාර්තු 19 වන දින එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදාගනිමින් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ, සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුකරමින් පවතින බව ද, එළඹෙන වසරේ දී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් 07ක් දක්වා අඩුකරන බවත්, ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබාදිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක්කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශේණිවල දී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පියවර ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර උසස් පෙළට පෙනී සිටි 3,37000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එළෙඹෙන මාර්තු 05 වන දා සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන පැවැත් වෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?