පහළොස් හැවිරිදි මුණුපුරා අතින් ඝාතනයට ලක් වූ බවට සැක කෙරෙන බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක කාන්තාවකගේ මෘත දේහය අද (29) යළි ගොඩගත්තා.
ඒ, තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා ඉදිරියේදීයි.
එම අවස්ථාවට තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යනිලධාරී ප්‍රසන්න සෙල්ලහේවා මහතා ද සහභාගී වී.සිටියා
එලෙස ගොඩගනු ලැබූ මෘත දේහය තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාව පසුගිය 17 වනදා ඇය පදිංචිව සිටි නිවසේ දී මියගොස් තිබුණා.
එහිදී සිය මිත්තණිය මියගිය බවට පහළොස් හැවිරිදි මුණුපුරා විසින් ග්‍රාමසේවකට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, එහිදී ග්‍රාමසේවා නිලධාරියා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසියට ද දැනුම් දෙන ලෙසයි.
අනතුරුව මුණුපුරා බෙලිඅත්ත පොලිසියට ද ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මියගිය මිත්තණියගේ නිවස ආසන්නයේ පිහිටි තවත් නිවසක පසුගිය 30 වනදා සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් මෙම මුණුපුරාගෙන් පොලිසිය පසුගිය දා ප්‍රශ්නකර තිබෙනවා.
එහිදී තමන් විසින් එම නිවසින් රන් භාණ්ඩ සොරකම් කළ බවට පිළිගෙන ඇති මුණුපුරා, තම වයෝවෘද මිත්තණියගේ ගෙළේ තිබූ රන් මාලය ද සොරාගත් බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
මුණුපුරා විසින් පොලිසිය හමුවේ මෙම කරුණු හෙළිකර ඇත්තේ මිත්තණිය මියගොස් ඇයගේ අවසන් කටයුතු ද සිදුකිරීමෙන් පසුවයි.
ඒ, අනුව පසුගිය 26 වනදා සැකකාර මුණුපුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු විසින් මිත්තණිය ඝාතනය කළ බවටයි පාපොච්ච්රණය කර ඇත්තේ.
මෙහිදී අනාවරණය කරගත් කරුණු අනුව සොරාගත් රන් මාලය අලෙවි කිරීමට උදව්කළ මිතුරන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව සැකකාර මුණුපුරා සහ මිතුරන් දෙදෙනා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.













