ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පතක්

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කිරීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත, පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දී තිබෙනවා.

ඒ, මෙම නව කෙටුම්පත සැකසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින්.

රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන අය ඇතුළත්.

චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්ෂිතයි.

වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටළු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් ලබා දී ඇති බවත්, මෙය ක්‍රියාත්මක කරලීම සමඟ ම නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්ෂා වන බවත් එම කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි සඳහන් කළා.