කිසිදු ආරක්ෂාවක් සහතික නොකර, රැකියා ලබාදීමේ අරමුණින් ම පමණක් ශ්‍රී ලාංකිකයින් ව එතෙර යැවීම බරපතළ ගැටලුවක් බව ‘එතෙර අපි සංවිධානයේ’ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයින් මේ වනවිට විශාල ගැටලුවලට මුහුණ පා ඇති බවත්, ජාත්‍යන්තර ගැටලුවක් බවට පත් ව තිබෙන ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමෙන් මෙරටින් එරට රැකියා සඳහා ගිය පිරිස් ද අසීමිත දුක් විඳින බවත් පෙන්වා දුන්නා.
ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණදෙන ගැටලු ගණනාවක් ඇති බවත්, මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් එය දැඩි අර්බුදයක් බවත් එතෙර අපි සංවිධානය අවධාරණය කරනවා.
එතෙර රැකියාවලට ගොස් පවතින යුදමය වාතාවරණයක් තුළ දී ජීවිතයෙන් සමුගත් ශ්‍රී ලාංකිකයින් දෙපළගේ පවුල්වල ඥාතීන් හට සිය ශෝකය පළ කර සිටින බවයි මෙම සංවිධානය කියා සිටින්නේ.
මෙරට අධි ආර්ථික පීඩන බර හේතුවෙන් බොහෝ පිරිස් යුද ගැටුම් ඇති රටවල් වෙත යන බවත්, එහිදී ඔවුන් නිරායුධ ව සිට, අදාළ ම නොවන දේශ සීමා අර්බුදයක් හේතුවෙන් වෙනත් රටක දී සිය ජීවිතවලින් වන්දි ගෙවූයේ ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජය කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ නිසා බව ද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරනවා.
මෙම රටවල් හිටිහැටියේ ම ආරවුල් නිරාකරණයකට සාම සාකච්ඡා පවත්වා එළඹිය ද, යළිත් පෙර පරිදි ම ශ්‍රී ලාංකිකයින් ව වගකීමකින් තොර ව යුද්ධයක් ඇති රටවල්වලට යැවීමට සිදු කරන ක්‍රියාවලිය වහාම රජය මැදිහත් ව විසඳිය යුතු බවටයි ඔවුන් පෙන්වාදෙනවා.




