විදෙස් දුම්වැටි තොගයක් සමග කටුනායකදී පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් 2,140,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ ආපනශාලාවක සූපවේදියෙකු ලෙස රැකියාව කළ මෙම ගුවන් මගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද අලුයම 05.50ට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D – 823 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මැන්චෙස්ටර්, ඇඩ්‍රස් කින්ග් සහ ගෝල්ඩ් ලීෆ් යන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,400ක් සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ගුවන් මගියා සහ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.