ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 26,000ක පමණ හිඟයක් මෙරට පාසල් තුළ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
එම හිඟය මඟ හරවා ගැනීම සදහා කඩිනමින් ගුරු විදුහල්පතිවරුන් බදවා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මෙම ගුරු හිඟය තුළ සිංහල මෙන්ම දමිළ ගුරු, විදුහල්පතිවරු සිටින බවත්, මීළග සති කීපය තුළදී අධිකරණයේ තිබෙන නඩු කටයුතු අවසන් කරමින් කඩිනමින් එම බදවා ගැනීම් සිදුකරන බවයි ඔහු පැවසුවේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය මුල්කර ගනිමින් ස්ථාපිත කිරීමට යෝජිතව ඇති නව විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ කේෂ්ත්‍ර චාරිකාවට ඊයේ (08) එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,
“ගුරු පුහුණුව ලබාදීමෙන් අනතුරුවයි මෙම ගුරුවරු පාසල්වලට ලබා දෙන්නේ. ඒ වගේම ගුරු මාරුවීම් වලදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට ඒ ඒ ප්‍රදේශවලට හා පළාත් වලට ගැලපෙන ආකාරයට සකස් කර ගැනීමේ වැඩපිළිවෙළකට අපි යනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීමක් තිබෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්න සෑම ජන කොටසකටම පාවිචිචි කරන්න පුළුවන් ආකාරයේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබදව, ඒ අනුව මේ පිළිබඳව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපතිවරයා දැනුවත් කොට මාද දැනුවත් කළා. ඒ අනුව කොටගල පිහිටි ගුරු අභ්‍යාස විද්‍යාලයේ නව විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට ඇති හැකියාව සොයා බැලීමට පැමිණියා. අවුරුදු දෙකකටම මෙහි ගුරුවරුන් 25 කු පමණයි පුහුණු කරන්නේ. අපිට වෙනත් ඉඩම් සොයනවට වඩා ඉතාමත් පහසුයි අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින මෙම ගුරු අභ්‍යාස විද්‍යාලය මේ සදහා භාවිතා කිරීමට. මෙහි අවට ඇති ඉඩම්ද රජයට අයත් ඉඩම් තියෙන්නේ. මෙම ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා ඇත්තේ ඉතාමත් රමණිය ප්‍රදේශයකය. මෙහි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට ලැබුනොහොත් එය මෙරට තවත් එක් ලස්සනම විශ්ව විද්‍යාලයක් බවට පත්වේවි. මෙරට හැම පළාතකටම පාහේ විශ්ව විද්‍යාලයක් තිබෙනවා. නමුත් නුවරඑළිය දිස්ත්‍රිත්කයට එකක් නැහැ. මේ ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන ළමුන් යාපනයට හෝ නැගෙනහිරට හෝ එහෙමත් නැතිනම් වෙනත් ප්‍රදේශයකට යාමට සිදුව තිබෙනවා. අපේ රටේ වැවිලි කර්මාන්ත සදහා පැමිණි ජනතාව මෙරටට පැමිණ මේ වසරට වසර 200 ක් ගතව තිබෙනවා. එම අවුරුදු 200 සනිටුහන් කිරීමටත් එක්ක කල්පවතින විශේෂයෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට ලැබුනහොත් එය මේ ප්‍රදේශයේ ජනතාවට වටිනාම දෙයක් වේවි.”













