AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ 16 වන සරසවිය ඊයේ ගම්පහින් බිහිවේ..!

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය මෙරට 16 වැනි ජාතික විශ්වවිද්‍යාලය ලෙස නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (1) පෙරවරුවේ සිදු කෙරිණි.

විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ ආරාධනය පරිදි ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් සමරු ඵලකයක් නිරාවරණය කරමින් විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කෙරුණි.

මෙම විශ්වවිද්‍යාලය අධ්‍යයන අංශ 8 කින් සමන්විත දේශීය වෛද්‍ය පීඨය, අධ්‍යයන අංශ 3 කින් සමන්විත දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය සහ අධ්‍යයන අංශ 2 කින් සමන්විත දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ පීඨය යනුවෙන් ප්‍රධාන පීඨ තුනකින්ද පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයකින්ද සමන්විතය.

විශ්වවිද්‍යාල සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් සහභාගී වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ පණ්ඩිත වික්‍රමආරච්චි වෛද්‍යාචාර්ය තුමන් 1929 වර්ෂයේ ආරම්භ කළ ආයුර්වේද ආයතනය මෙලෙස ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරිමට හැකි වීම සතුටට කරුණක් වන අතර මෙහි කොටස්කරුවකු වීමට හැකිවීම සතුටට කරුණක් බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය.

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස පත්ව සිටින මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධච පැවැති මෙම ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම පිණිස පසුබිම සකස් කරමින් එය ඉටුකර ගැනීම පිණිස විශාල කාර්යභාරයක් ඉටු කළා. ගම්පහට ජාතික විශ්වවිද්‍යාලයක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත් වන අතර මීට මූලිකව කටයුතු කළ එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය වරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතාට ස්තූතිය හිමි විය යුතුයි. වික්‍රමආරච්චි වෛද්‍යාචාර්ය තුමන් විසින් ආරම්භ කරන ලද මෙම ආයතනය අද වනවිට විශ්වවිද්‍යාලයක් බවට පත්වීම පිළිබඳව එම පවුලේ අය සතුටු වෙනවා ඇති. අපි වික්‍රමආරච්චි පවුලට ගරු කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා උත්සව සහාව අමතා මේ සඳහන් කළේය .

“පසුගිය අයවැය මගින් සෑම දිස්ත්‍රික්කයම ජාතික විශ්වවිද්‍යාලයක් පිහිටුවන බව ප්‍රකාශ කළා. ඒ අනුව තමයි මෙරට 16 වැනි ජාතික විශ්වවිද්‍යාලය ලෙසින් මෙය පිහිටුවනු ලැබීම සිදු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙලෙස දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව සියනෑ කතිකාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එක් කර තිබුණා. ජනාධිපතිතුමන් ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමට හැකි වීම සතුටට කරුණක් බවත් සඳහන් කළ යුතුයි. “

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙසේ පවසීය.

“මෙරට ඇතැම් ඖෂධ සහ පැළෑටි සදහා පේස්ටන්ට් බලපත්‍ර අද විදේශයන් සතුව පවතිනවා. අපි අද ආරම්භ කළ දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් ලොව ජය ගැනීමට කටයුතු කරමු.”

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හොවාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙම සඳහන් කළේය.

“සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ ලබාදෙන ප්‍රථම ජාතික විශ්වවිද්‍යාලය මෙයයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු අමාත්‍යාංශය වෙනුවෙන් සුබ පතනව. මෙම දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සාර්ථකත්වය කරා ගෙන යාමට අපි සහාය ලබා දෙනව.”

මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අදහස් දක්වමින්, කියා සිටියේ ගෙවී ගිය වසර තුළ කොරෝනා වසංගතය හමුවේ වුවද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැවැන්ත කාර්ය භාරයක් සිදුවූ බවත් මේ අතර ගම්පහ දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ඇති කිරීම ජයග්‍රහණයක් බවය.

වික්‍රමආරච්චි වෛද්‍යාචාර්ය තුමන් 1929 වර්ෂයේ දී ආරම්භ කළ මෙම ආයතනය අද වනවිට දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවත් මින් රටට මෙන්ම ලෝකයට ප්‍රතිලාබ හිමි කර දීමට මෙහි උපකුලපතිනිය, කථිකාචාර්යවරුන් ඇතුළු පරිපාලනයට විශාල කාර්ය භාරයක් පැවරෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, එහි ලේඛකාධිකාරී ඩබ්ලිව්.ඒ. කරුණාරත්න, ගම්පහ දිසාපති සුනිල් ජයලත්, ප්‍රාදේශීය ලේකම් සුරංග ගුණතිලක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය, ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඩී.ඒ.එන්. ක්‍රිෂාන්ත, මූල්‍යාධිකාරී සී.ජී. කොතලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

ගම්පහ – තිලකරත්න දිසානායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?