රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් අද (25) දිනයේ ඉදිරිපත් වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් පක්ෂ කාන්තා පෙරමුණ විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVවන පරිච්ඡේදයේ “අධිකරණයේ ස්වාධීනත්වය” ශීර්ෂය යටතේ ඇතුළත් 107 ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාව සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාමගත යුතු වයස අවුරුදු 02 කින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම යෝජිත සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් වර්තමානයේ ධූරය දරණ විනිශ්චයකාරවරුන්ට ඍජුව බලපෑමක් ඇති වන බැවින් එය අධිකරණයේ ස්වාධීනත්වයටත් බලතල වෙන්කිරීමේ මූළධර්මයටත් සංවර්ණය හා තුලන පවත්වා ගැනීමටත් දැඩිව බලපෑම් ඇතිවිය හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය මෙම පෙත්සමන මඟින් පෙන්වා දෙනවා.
මෙම පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, රටේ උත්තරීතර නීතිය මගින් ආරක්ෂා කර ඇති “අධිකරණයේ ස්වාධීනත්වය” ශීර්ෂය යටතේ ඇති ව්‍යවස්ථාවන්ට සිදුකරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනතාවගේ ද ඍජු අනුමැතිය ලබාගැනීම උදෙසා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.













